෴ ගැලපීම ෴



ඒ බලපන්කෝ අර කපල් එක.....
කෙල්ල සුදුයි, ලස්සනයි
කොල්ලා කළුයි, කැතයි.......
කෙල්ල සුරඟනක් වගේ
කොල්ලා යකේක් වගේ.....
කෙල්ලගේ ඇස් පොට්ටද
කෙල්ලට පිස්සුද කොහෙද.......
කෙල්ල මොකට කැමති වුනාද මන්දා
සල්ලි වලටද දන්නෑනේ
වෙන්න ඇති....
කොල්ලා කෙල්ලව රවට්ටලා......
අනේ පව්.........


අපි ගැනද කතා කලේ....
මම සුදුයි....ලස්සනයි.....
මෙයා කළුයි...කැතයි.....
සුදුයි කැතයි... කළුයි ලස්සනයි....
එකතුවෙන්න බැරිද
මම මෙයා එක්ක යාළුවුනේ
හැමදාම ආදරෙන් එකට ඉන්න.....
ගැලපෙන්න ඕනි....

පාටද? පෙනුමද? කුලයද? ජාතියද? ආගමද? වත්කම්ද?

එහෙමත් නැතිනම්

හිත් දෙකද?


~~~~~~


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :


ඔන්න අද හසියා කියන්න යන දේ අහලා අපේ මේ විපක්ෂයේ උදවිය, ඒ කිව්වේ මේ කාන්තා පාර්ෂවය එයිද දන්නෑ හසියට විරුද්ධ‍ව උද්ඝෝෂණ කොරන්න.කෂ්ටිය දන්නවනේ ඉතිං කොල්ලෙක් කෙල්ලෙක්ව සෙට් කරගත්ත දවසේ ඉදන් කොල්ලා නොවිදිනා දුකක් නෑ කියලා.හරියට පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයට ඇතුළු වුනා වගේම තමයි ඕන්.කොයි වෙලේ බැලුවත් ආණ්ඩුපක්ෂය විවේචනය කොරන එකනේ විපක්ෂයේ වැඩේ.අරක කොලා හරිනෑ.....අරහේ යන්න එපා....මෙහෙම කරන්න එපා...බ්ලා බ්ලා බ්ලා....කතාකරන වචන 10න් 2ක් අනිවා "එපා" වචනය තියෙනවා.ඕක පවුලක් පන්සලක් වුනහම තව වැඩිවෙනවා.

ඉතිං ඔය විපක්ෂය ආණ්ඩුපක්ෂයට චෝදනා කොරන එක් ප්‍රධාන කාරනාවක් තමයි මේ ආණ්ඩුපක්ෂය බාර් වලට රිංගන එක‍.ඔව් ඔව් ඉතිං බාර් එකට යන්නේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් ගන්න නෙවේනේ.විපක්ෂය ආණ්ඩුපක්ෂයට ඔතෙන්දි චෝදනා එල්ල කරන හේතුව හසියානම් හරියටම දන්නේ නෑ.සමහරවිට ආණ්ඩුපක්ෂයට මොනාහරි වෙයි කියලා බයටද දන්නෑ නේ.එහෙම වුනොත් පාලනය බාරගන්න වෙන්නේ විපක්ෂයටනේ.එතකොට විපක්ෂය අනාථ වෙනවනේ.එහෙම හරි ආදරෙන් හිතනවනම් ඔය චෝදනාව ගැන සැලකුවට කමක් නෑනේ.හැබැයි ඔන්න විපක්ෂෙට ලැබෙන ප්‍රතිසම්පාදන අඩුවෙන නිසා ඔය ගැන චෝදනා කරනවනම් ඒ ගැන නොසලකා හැරියට කමෙක් නෑ.මොකද එහෙම හිතල චෝදනා කරන විපක්ෂය ආණ්ඩුපක්ෂයට ආදරේ නෑනේ.

හෝව් හෝව් ට්‍රැක් පැන්නද මන්ද.....හසියා ඉතිං කියන්න යන්නේ ඔය චෝදනාවෙන් බේරෙන්න පුළුහන් පොඩි ට්‍රික් එකක් ගැන‍.ඔන්න මේක මගේ ට්‍රික් එකක් නෙවේ.ප්‍රසිද්ධ බියර් සමාගමක වැඩක්‍‍.දැන් හසියට මැවිලා පේනවා විපක්ෂයේ මුණේ තියෙන සිරියාව... පුපුරනවා කියන්නේ මෙහෙටත් සද්දේ ඇහෙනවා...

වැඩිය කවි කතන්දර ඕනි නෑ...ඔය පහල වීඩියෝ එක බලලාම තේරුම් ගත්තනම්.....




වැඩේ හොදයි නේද? හැබැයි ඉතිං අපේ ඔය ටවුන් වල තියෙන බාර් එකක ඔය වගේ පොඩි ගැජට් එකක් තියනවා කියන එකත් ලොකු ගැටළුවක්නේ.ඇයි ඉතිං ඔය සේරම කොරන්න තියෙන්නේ හුණ්ඩු ඉඩක් නොවැ.....ආණ්ඩුපක්ෂෙට කිසි ගින්නක් නැතිව වැඩේ ෂේප් එකේ කොරගන්න පුළුහන්.ෆන් එකත් තියෙනවා.විපක්ෂෙත් හොදට ඉන්නවා.චෝයි නේද......

මලා.....අන්න කවුද මන්දා සෙට් එකක් මේ පැත්තට දුවගෙන එනවා වගේ පේනවා.....ම්ම්ම්මම් "මත්පැන් මත්ද්‍රව්‍ය විරෝධී විපක්ෂයන්ගේ එකමුතුව" වගේ බෝඩ් ලෑල්ලකුත් ලා වට පේනවා වගේ....මේ.. කොකටත් හසියා වාෂ්පවෙන්නම්.ඇඟට ගුණයිනේ.‍

යන්න ඉස්සෙල්ලා මෙකත් කියන්නම්කෝ.... ඔන්න අහගත්තනම් ආණ්ඩුපක්ෂයේ අය හොදට...... මොනාකිව්වත් ඉතිං හසියානම් කියන්නේ ඔය ගිණිවතුර වගේම දුම්බට භාවිතා කරන්න එපා කියලා.ඒකෙන් වෙන්නේ තමනුත් අනුනුත් පරිහාණියට පත්වෙන එකනේ.කෙනෙක් කියයි අපි පොඩි ෂොට් එකක් දැම්මට මොකද අපි අපේ පාඩුවේ ඉන්නවනම් කාටත් කරදරයක් නැතිව.ඇත්ත....ඒත් අපි නොදැනුවත්ව හරි කෙනෙක්ට හිංසාවක් කරදරයක් වෙන්න පුළුහන්.ඒ වගේම පවුලක් පන්සලක් වුන කෙනෙක්නම් හිතලා බලන්න....තාත්තා අසිහියෙන් ගෙදර එනකොට දරුවන්ට ඇති වෙන දුක(ගෙදර කරදරයක් නොකලත්‍).මොකද ඕනිම දරුවෙක් කැමතියි තමන්ගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර ආපුවහමවත් සතුටින් කතා බහ කරලා විනෝද වෙන්න.හිතලා බලන්න ඔය වියදම් කරන සල්ලි වලින් ගෙදර එනකොට තමන්ගේ දරුවන්ට බිරිදට කන්න දෙයක් ගෙනාවොත් එයාලා කොච්චර සතුටු වෙයිද?කොච්චර ඔබට ආදරේ කරයිද?අනිත් එක ලෙඩක් දුකක් වුනාම තමන් වගේම තමන්ගේ පවුලේ අයත් දුක් විදිනවා.ඉතිං ඔය ගැන පොඩ්ඩක් හිතලා ඔවයින් ඇත් වෙන්න බලන්න.කාටවත් බල කරන්නේ නෑ හසියා.ඒත් හැමොටම මොලේ තියෙනවා යම් දෙයක් ගැන තර්කානුකූලව හිතන්න. හසියා මේක දැම්ම් මේ ඇඩ් එකේ තියෙන ක්‍රියෙටිවිටි එහෙමත් නැතිනම් මේ නිර්මාණශීලීත්වය ගැන හිතලා.හසියා ටිකක් ඔය ක්‍රියෙටිවිටි එක ගැන හිතන එකෙක්.හසියාව ලගින් ඇසුරුකරන්නෝ එය හොදටම දන්නවා.හසියා ඉදිරියේදි ක්‍රියෙටිව් අයිඩියාස් පිළිබදව කෂ්ටියට හොද හොද දේවල් ටිකක් දෙන්නම්කෝ රසවිදින්න....එහෙනම් ඉතිං කෂ්ටියට තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් තමන්ටත් අනුන්ටත් හොද විදිහට යොදාගන්න සිත් පහල වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා‍.ඒ ගමන් හසියා උඩ කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න......


එහෙනම් ඔන්න හසියා වාෂ්ප වුනා.....
ඒස්වඃ පුහ්ඃ


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ රිසර්වුඩ් | яєѕєяνє∂ ෴





පොඩි කාලේ
නොතේරුන හන්දා
නිකන් හිටියා....


O/L කරනකොට
අම්මා කිව්වා...
උඹ
‍කෙල්ලෙක් එක්ක
යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
ඒක අහලා O/L කොරගත්තා.....


A/L කරද්දි
තාත්තා කිව්වා...
උඹ
කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
ඒක අහලා A/L ගොඩදාගත්තා.....


ඊට පස්සේ
අයියා කිව්වා.....
උඹ
රස්සාවක් නැතිව මේ ගෙදරට
කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....


මෙන්න දැන්
අක්කා කියනවා.....
උඹට
දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....


හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....


කෝ යකෝ කෙල්ලෝ........????



අහපුවහම ඔක්කොම....

"
яєѕєяνє∂"




~~~~~~~~~~





ප.ලි. :
මේක අපේ පොඩ්ඩා වත් අක්කිගේ ෴ හසුන ෴ ලිපියේ දාපු කොමෙන්ටුවක් නිසා හසියගේ හිතට ආ සිතුවිල්ලක් බව කරුණාවෙන් සලකන්න.

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ ආ...නංගි ඉදගන්න.... ෴



කතන්දර කාරයගේ "බඩ දරු අම්මලා" පෝසට් එක දැක්කාම ඔන්න හසියාටත් පොඩි කතාවක් මතක් වුනා.ඔව් ඔව් ඉතිං මේක හසියගේ අත්දැකීමක්.ටිකක් මෑතකදි වුන දෙයක්.කතාව මෙහෙමයි.

ඔන්න හසියා ඉතිං ඉරිදා බම්බලපිටියේ ක්ලාස් එකට යන්න කියලා හිතාන නැග්ගා නුගේගොඩින් 112 බස් එකට.ඒ කියන්නේ මහරගම කොටහේන බස් එක නොවැ.යන කෂ්ටිය දන්නවා ඇතිනේ ඉරිදට ඔය 112 බස් අඩුයි කියලා.ඉතිං නැග්ගාම දැක්ක ඉස්සරහා සීට් එකක් හිස් තියෙනවා.ඉතිං ගිහින් ඉදගත්තා‍.බස් එක ඉතිං කොටහේනනේ යන්නේ.නමේ හැටියටම තමයි බස්එකත්‍‍‍.කොට කොට තමයි.නු‍ගේගොඩ ඉදන් කිරුලපනට එන්න විනාඩි 20කටත් වඩා ගියා.කොහොමද යෑම.

ඉතිං ඔන්න කිරුලපනින් නැග්ගා අක්කා කෙනෙක්.බස් එකේ සෙනග සීට්ගාණට පොඩ්ඩක් වැඩියෙන් හිටියා.ඉතිං අර නැග්ග ඇත්ති හසියා ඉදන් හිටපු සීට් එක ලග තමයි ඇවිත් හිටගත්තේ.හසියා ඉතිං එච්චර ගණන් ගත්තේ නෑ.ඒත් හසියට එහා පැත්තේ හිටපු එකා නලියන්න ගත්තා‍‍‍.මැදි වයසේ පොරක් මම දැක්ක විදිහට.මිනිහා හැමවෙලේම අර මං ලග හිටපු ඇත්ති දිහා බලනවා.ආයේ මං දිහා බලනවා.මේක මහ විකාරයක්නේ.ඉතිං මම දිහා බලන වෙලාවක් ටාගට් කරල මම මිනිහා දිහා බැලුවා.බැලින්නම් මිනිහා මං දිහා නෙවේ බලන්නේ.ඉතිං හසියත් බෙල්ල අංශක 180ක් හරවලා බැලුවා මු ඔච්චර බලන්නේ මොකක්ද කියලා.ඒවලේ තමයි වැඩේ මීටර් වුනේ.අරූ බලලා තියෙන්නේ අර ඇත්තිගේ බඩ දිහා.හැබැයි ඉතිං මම ඒ බඩේ විශේෂත්වයක් දැක්කේ නෑ.අහ් නෑ නෑ...හොදට පිළිවෙලට ඇදලත් තිබුණා.මු තාමත් ඉතිං හැරි හැරි බලනවා.දැන් බස් එක තිඹිරිගස්යායෙන් ගාලු පාර පැත්තටත් හැරෙව්වා.ඒකියන්නේ ඩික්මන් රොඩ් එකට ඇතුළු වුනා.ඔන්න ඔය හරවපු ගමන්ම තියෙන බස් නැවතුමෙනුත් නැග්ගා ගැබ්බර කාන්තාවක්.ඉතිං මට සීට් දෙකක් ඉස්සරහා උන්නු එකා නැගිටලා සීට් එක දුන්නා.

මෙන්න යකෝ මට එහා පැත්තේ හිටපු එකා එකපාරටම කුලප්පු වෙලා මට කිව්වා."ගැබිණි කාන්තාවක් නැග්ගාම ඉඩ දෙන්න දන්නේ නැද්ද ?"කියලා.මම අන්දුන් කුන්දුන් වුනා.ඇයි හත්තිලව්වේ අර නැගපු ගැබිණි කාන්තාවට සීට් එකකුත් දුන්නා ඉස්සරහම හිටපු කෙනා.ඉතිං මම ගිහින් ඒ ගැබිණි කාන්තාවට කතා කරල ආ ඔයා මගේ සීට් එකෙන් ඉදගන්න කියනනද මූ කියන්නේ.ඉතිං මම හිතට ආපු ලැජ්ජාවයි කේන්තියයි යට කරගෙන ඇහුවා, "ම්මම්ම්ම් එයාට සීට් එක දුන්නනේ ඉස්සරහා හිටුපු කෙනා.අනිත් එක වෙන ගැබිණි කාන්තාවක් මෙතන නෑ නේ".එහෙම කියලා මම වට පිටත් බැලුවා මා නොදකින, මේකා දකින තවත් ගැබිණි කාන්තාවන් ඉන්නවද කියලා.ඒත් දැක්කෙ නෑ.ඊටත් වඩා දැන් බස් එකම අපි දිහා බලාගෙන.පොලොව දෙකඩ කරන් යන්න හිතුනා ඒ වෙලාවේ.පොලොවක් කොහෙද බස් එකේ....

"මු එතකොටම කියපු ඒ කෙනා ගැන නෙමෙයි අයිසේ මම කියන්නේ ඔහේ ලග හිටන් ඉන්න කෙනාටයි සීට් එක දෙන්න කිව්වේ" එහෙම කියලා මූ පොර වගේ නැගිටලා අර හසියා ළග හිටන් උන්නු ඇත්තිට කිව්වා "ආ නංගි ඉදගන්න....අද කාලේ ඉන්න උන්ට කිසිම හැදියාවක් නෑ" කියලා‍.

දැන්නම් හසියට පට්ටෙටම තද වුනා.හසිය කතා කරන්න හදනකොටම හසිය ළග හිටන් උන්නු ඇත්ති කට ඇරලා කිව්වා "වට්ද හෙල්, ආයූ ටෝකින් එබවුට් මී‍..? අයැම් නොට් මැරීඩ් යෙට්.ආ යූ මෑඩ්........?"

හිතේ තිබ්බ කේනතිය කොහෙන් ගියාද දන්නෑ, හසියට බකස් ගාලා හිනාගියා......ඒ මදිවට බස් එකේ හිටුපු ඔක්කොම හිනා වෙනවා.අර මනුස්සයට දැන් හොදටම මල.මිනිහා St.Paul's Girls' School එකට මෙහා හොල්ට් එකෙන් දඩි බිඩි ගාලා බැස්සා.මුණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා.අර ඇත්තිත් මුණ දෙකක් කරගෙන බැස්සා ගාලු පාරෙන්.මුණුදෙකනම් මාරම ලස්සනයි.මතක් වෙන ගානේ ලේ පිරිසිදු වෙනවා.


~බ්ලොග් අවකාශය ගැබිණි කානතාවන්ගේ කතා වලින් පිරේවා....!!! ~


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ සදාදරණීය නැගණිය ෴



අත්තම්මා සාදා දුන් ආහාරද රැගෙන ඉක්මණින් බස් නැවතුමවෙත දිව ගියේ රෝහල වෙත යාමටයි.ඒ අන්හේතුවක් නිසා නොව, ‍ඩෙංගු සෑදී අසාධ්‍ය තත්වයේ සිටින මගේම එකම එක ආදරණිය සුදු නංගියා බැලීමටය.අම්මා, ඇය රොහල් ගත කල දිනයේ සිට ඇගේ ළඟ තනියට නැවතී සිටී.ඇයට දහවල් ආහාරයත්, මගේ හොදම යාළුවෙකු පැවසූ පරිදි ඩෙංගු සදහා ‍‍‍‍‍ඖෂධයක් වන "ගස් ලබු ප්‍රතිකාරකයත්" රැගෙන කඩිනමින් රෝහල වෙත යාමට බස් නැවතුමට පැමිණියත් තවමත් බස් රථයක් නම් පැමිණයේ නැත.‍විනාඩි දහයකට පමණ පසු ඈතින් එනු දුටු බස්රථය දැක මා සැනසුම් සුසුමක් හෙළුනේ මටත් නොදැනිමය.බස් රථයට ගොඩවු මා බස් රථයේ මැද තිබු හිස් අසුනක හිද ගත්තෙමි.මසිත කෙතරම් වියවුල්ද කියතොත් කොන්දොස්තරගෙන් ටිකටි ගැනීමට පවා අමතකවිණි.

නැගුණු නොයෙකුත් සිතුවිළි වලින් මගේ මුළු සිතම වියවුල් වී ඇත.කෙදිනකවත් නොසැලුනු මනසක් තිබු මා හට මේ වන විට මාගේ සිත අන්ත අසරණ වී ඇත.ඒ මගේ ආදරණිය නංගී නිසාය.ඇය මගේ ජීවිතය හා සමාන විය.අප දෙදෙන වගේ මේ ලෝකේ කිසිම අයියෙක් නංගියෙක් නොමැත."උඹල දෙන්න ඉතිං තකට තකනේ." ඒ අම්මගේ මුවින් පිටවන අප දෙන්නාගේ හදුන්වාදීමයි.ඇය නැති විට මුළු ගේම පාළුය.සියළුම ගෙදර වැඩ ඇය හොදහැටි කරන්නීය.මා අකමැති වුවත් මගේ ඇදුම් පවා සෝදා මැද දෙන්නේ ඇයයි.ඇය ගෙදර මිණි පහනක්ම විය.අප දෙදෙනාගේ සමගිය කෙතෙක්ද කියතොත් අද වනතුරුත් අප දෙදෙන වැලි කැටයකටවත් රණ්ඩු වී නැත.මට දෙයක් කන්නට ලැබුණු විට එය කෙසේ හෝ පරිස්සම් කරගන්නේ ඈ වෙනුවෙනි.ඇයත් එසේමය.අපේ නෑදෑ උදවියටත් අහල පහල උදවියටත් අප දෙදෙනාගේ මේ සහෝදර පෙම පුදුමයකට කරුණක් විය.ඔවුන්ගේ ඇස්වහ කටවහ නිසා මෙසේ සිදුවුවා දැයි විටෙක මගේ සිතට වද දෙන්නට විය.ඇය දෙක වසරේ සිටින විට, උණ සෑදී සිටි මා බදාගෙන අඩන්න ගත්තේ "අනේ අයියේ මාව දාලා යන්න එපා.අනේ ඔයා මැරෙන්න එපා" කියමින් මාද, අම්මා ඇතුළු පවුලේ සැවෙම පුදුමයට පත්කරවමිනි.ඇගේ යෙහෙළියක් පවසා ඇත්තේ උණ හැදුනුවිට ඒ කෙනා මිය යන බවයි.ඒබව ඇසු ඇය මා බදාගෙන අඩන්න විය.ඒ ඇය මට දැක්වු ආදරයයි.

"අයියේ මම එහාට යන්නද?" බසයට නැගි පොඩි කොලුවෙකුගේ ඉල්ලීමත් සමග පියවි සිහියට පැමිණි මා ඔහුට ජනේලය අසල ඇති අසුනට යාමට ඉඩ දුන්නෙමි.මගේ කොපුල කදුළීන් තෙත්වී ඇති බව ඒ වන විටත් නොවැටහිණි‍.මම හොරෙන් මෙන් දෑසට නැගී තිබු කදුළු පිසගතිමි.ඒ මොහොතේ මගේ නෙත ගැටුනේ බසයේ වීදුරුවේ ලොකුවට අලවා තිබු ස්ටිකරයයි.


"ඩෙංගු මාරාන්තිකයි....!!!"

"ඔබේ පරිසරය පිරිසිදුව තබාගන්න.ඉවතලන ටින් පොල් කෝම්ඹ,පොල් කටු,ටයර්,වැහි පීළි වැනි ජලය එක් රැස් වන ස්ථාන වේනම් වහාම විනාශ කරදමන්න......."



අපේ ගෙවත්තේ එවන් අපිරිසුදු තත්වයක් නැත‍.තාත්තා සෑම විටම ගෙදර අප සමග එක්ව සතියකට සැරයක් ගේ අවට හොදින් සුද්ද පවිත්‍ර කරන‍්නේය.නමුත් මගේ නංගීට දැන් ඩෙංගු වැළදී ඇත.‍අප පමණක් ගෙවත්ත හා අවට පරිසරය පිරිසිදුව තබාගැනීමම මදිය.අන් අයද මේ පිළිබදව සැලකිලිමත් විය යුතුය.මට අපේ අසල් වාසීන් පිළිබද දැනුනේ දැඩි කේන්තියක් සහ වෛරයකි.ඔවුන් සැමදා කලේ අනුන්ට දොස් පැවරීමය.තමන්ගේ ගෙවත්ත කෙදිනකවත් සුද්ද පවිත්‍ර කරගත්තේ නැත.මහජන සෞඛ්‍ය නිළධාරීන් පැමිණෙන විට පමණක් තමන්ගේ ගෙවත්ත පිරිසිදු කරගැනීමට ඔවුන් පුරුදු වී සිටියහ.

"රෝහල ළග බහින අය ඉස්සරහට ගිහින් බැහැගන්න......." කොන්දොසතරගේ සිහිකැදවීම නොතිබෙන්නට මම රෝහලත් පසු කර යන්නට ඉඩ තිබිණි.හිදි අසුනේන ඉක්මණින් නැගිට බසයේ ඉස්සරහා දොර වෙත ළංවුනේ රෝහල ළගින් බැසගැනීමටය.

බසයෙන් බැසගත් මා ඉක්මණින් රෝහලට දුවන්නට වීමී.ඒ මගේ සුදු නංගී බැලීමටය.ඇයට ගස් ලබු ප්‍රතිකාරකය දී හෝ ඇය බේරා ගැනීමටය.රෝහලට ඇතුළු වු මා නංගී සිටින වාට්ටුවට යන අතරමගදී මා දුටුවේ එම වාට්ටුව බාර ප්‍රධාන වෛද්‍යවරයායි.මා දුටු සැනින් ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වු බව මට දක්නට ලැබුණි.එය දැකීමෙන් මගේ පපුවේ ශබ්දය පිටතට ඇසෙන්නාක් මෙන් වේගවත් විය.

"ඔයා මිස්ටර් ජනක නේද?" ඔහු මා ඇමතීය.

"ඔව් ඩොක්ටර්.."

"ඔයාගේ නංගි නේද පූර්ණිමා කියන්නේ.....?"

"ඔව් ඩොක්ටර්....දැන් මගේ නංගිට කොහොමද ඩොක්ටර්.....?"

"කලබල වෙන්න එපා මිස්ටර් ජනක......ජීවිතය කියන්නේ පුදුම දෙයක්....."

"කියන්න ඩොක්ටර් කොහොමද මගේ නංගිට දැන්.....ඩොක්ටර් මොනාද කියන්න හද‍න්නේ....." මම සිතේ තිබු ආවේගයටම එසේ ඇසුවෙමි.

"හ්ම්ම්ම්......මිස්ටර් ජනක....අපිට ඔයාගේ නංගිව බේරාගන්න බැරිවුනා.ඇය දැන් පොඩිඩකට කලින් අපිව දාලා ගියා...."

මට ඇසුනේ එපමණකි....මා පිස්සුවෙන් දිව ගියේ ඇය සිටි වාට්ටුවටය.ඈව බදා‍ගෙන විළාප තියන අම්මා දුටු විගස මාගේ හදවත නැවතුනා සේ දැනිණි.ඇස් නිලංකාර වී ගියේය.

"දඩාස්......." මා හට මතක එපමණකි.

මගේ මුහුණට කවුරුන්දෝ වතුර ඉසින්නාක් මෙන් දැනුණි.....

"නැගිටින්න සුදු අයියේ නැගිටින්න......."

ඒ ඇයයි.......ඈ ඉසු වතුර බිංදු වලින් මට ඇහැරුණි.

"මොකද මේ භය වෙලා....මම ඔයාගේ නංගි...යකෙක් නෙවේ අනේ.....දාඩියත් දාලා....ඇයි හීනයක් වත් දැක්කද?.....ආ...?? ලැජ්ජා නැද්ද මෙච්චර උදේ වෙනකන් නිදාගන්න.....?"

මා දැක ඇත්තේ සිහිනයකි.නමුත් සිතට දැනුණු බිය තවමත් එසේමය.

"නංගියෝ අද අපි අපේ වත්ත සුද්ද කරමු" යැයි කියමින් හා දෙවියන්ට ස්තූති කරමින් මම මගේම සුදු නංගියාව ආද‍රයෙන් බදාගත්තෙමි‍.




~~~~~~~~~~~~~~~~~~~~






ප.ලි. : ඩෙංගු මතකද කෂ්ටියට....??? අමතක වුනා නේද...? අමතක නම් පොඩ්ඩක් මේ ගමන්ම මතක් කරගන්නකෝ.....

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :



ඔන්න අද අම්මා ඇවිත් පටන් ගත්තනේ මාව පුරුදු විදිහටම උදේම ඇහැරවන්න.වෙලාව උදේ 5.00.අද දවසින් පස්සේ ටිකක් සැනසීමේ ඉන්න පුළුවන් වෙයි.අද 2010 අගෝස්තු 22 ඉරිදනේ.අම්මලා කියන විදිහට අද දවසලු මගේ අනාගතය තීරණය කරන්නේ.මට ඕක තාම තේරෙන්නේ නෑනේ.දවසක් කොහොමද මගේ ජීවිතේට බලපාන්නේ.හනේ මන්ද.ඔන්න ඉතිං උදේ හීතලේ ගැහි ගැහි මුණ හොදගෙන ලෑස්තුවුනා කියමුකෝ‍.වෙන මොකේටවත් නෙවේ ශිෂ්‍යත්වේ ලියන්න.ඔන්න ඉතිං මම ඉස්කෝලෙට ගියේ අම්මටයි තාත්තටයි වැඳලා.දෙන්නම ආවනේ ඉතං මාව මේ කෙහෙල්මලට ඉස්කෝලේ එක්කන් යන්න.ඉස්කෝලේ ලගට එනකොට ඇහෙනවා අම්මලගේ කයිවාරුව.මගේ පුතා මෙහෙමයි.මගේ දුව මෙහෙමයි.ඇයි තවත් සමහරු අරයගේ පුතා , දුව මෙහෙමයි කියලත් කියනවා.අනේ මන්ද අප්පා.අපේ අම්ම ළගටත් ඇවිත් ඇන්ටි කෙනෙක් ඇහුවා "ආ..කෝමද දුව ලෑස්තිද විභාගෙට කියලා".මෙන්න බොලේ අම්මා මම ඉන්න තැනම ඒ ඇන්ටිගේ මුණ බලාන කිව්වා..."මොන අපේ එක්කෙනා සෙල්ලමම විතරයි.විභාගයට කියල පොඩ්ඩක් වත් විශේෂ ලෑස්තියක් වුනේ නෑ."උදේම අතෑරියා පට්ටාපල්ල බින්නයක්‍.ඉතිං ඉස්කෝලේ කියල දෙන්නේ බොරු කියන්න එපා පව් සිද්ධ වෙනවා කියලානේ...ඉතිං මම කිව්වා..."ඇයි අම්මේ බොරු කියන්නේ මම හැමදාම උදේ 5.30ට නැගීටලා පාඩම් කලේ.ක්ලාස් ගියේ.ඔච්චර කරලත් මදිනම් තව කොහොම කරන්නද අප්පා..." ඒ වෙලාවේ අම්මගෙයි ඒ ඇන්ටිගෙයි මුණු ලස්සනට ඇඹුල් වෙලා දෙකක් වුණා කියල නම් මම දැක්කා.

ඔන්න ඉතිං ගොහින් විභාගේ ලියන්න ගියා කියමුකෝ....අහ් තව කොහෙද..යන්න ඉස්සෙල්ල අම්ම කියපු දේ...."මගේ දු හොදට ගිහින් පැහැදිලිව අකුරු ලස්සනට දන්නදේ හරියට සැලකිල්ලෙන් ලියන්න.ප්‍රශ්නයක් බැරිනම් එතන හිරවෙලා ඉන්න එපා වෙන ප්‍රශ්නයකට යන්න....බ්ලා...බ්ලා..." ඔක්කොම ටික කිව්වද මන්ද......ඔන්න ඉතිං ගිහින් අර ඇන්ටි කෙනෙක් දුන්න සුදු පාට ලස්සන කොලේ තිබ්බ ඒවට ලියලා ආවා කියමුකෝ උත්තරද මොනාද ඒවා....ලිව්වා ලිව්වා ම්ම්ම් හරිද මන්ද...මගේ අතත් රිදෙනවා.ඔන්න ඉතිං එළියට ආවා පංතියෙන්. හප්පා...තව පැය කීයක් හරි පංතිය ඇතුලෙම ඉන්න තිබුණනම් කියලා හිතුනේ මේ වෙලාවට තමයි.ආපු ගමන් ම ඇ‍හෙන්න ගත්තේ "කීයකට ලිව්වද? පැහැදිලිව ලිව්වද? ලේසිද? අමාරුද? ලකුණු කීයක් ඇතිද?" ඇයි අනේ මේ පැය ගාණක් අර පංතිය ඇතුලේ ඉදල ආපුවහම අඩු තරමේ සුදු දුට බඩගිනිද කියලා අහන්නකෝ...කොහොද...මට තිබ්බ චූ බරත් තදකර‍ගෙන දීපල්ලකෝ උත්තර‍.

මොනාවුනත් දැන්නම් ටිකක් හිතට නිදහසක් දැනෙනවා වගේ....අර මෙකක්ද ගලක් තියෙන්නේ බුද්ධාගම පාඩමේ...මට මතක නෑ...අන්න ඒක අහක් කලා වගේ..අම්මට කියල ඔන්න එන ගමන් අයිස් ක්‍රීම් එකකුත් ගත්තා කකා එන්න.ගෙදර ගිහින් කොච්චර වැඩ තියෙනවද කරන්න.කාටුන් බලන්න...සරුංගල් අරින්න...එහා ගෙදර චතුනි අක්කයි ඒ මල්ලිලා ටිකයි එක්ක සෙල්ලම් ගෙයක් දාන්න...දෙවැටේ ඇලේ නාන්න....දවල් වෙනකන් නිදාගන්න....අර අළුතින් ආපු භූත චිත්තරපටිය බලන්න යන්න....අනේ මන්ද වෙලාව මදිවෙයිද දන්නෑ...

මට නම් මේ කෙහෙල්මල් විභාගේ විකාරයක් වගේ.කිසිකමකට නෑ.අම්මා එක්ක පුදුම තරහක් තියෙන්නේ.ඒත් අම්මලට ශිෂ්‍යත්වේ කියලා නම ඇහුනත් ඇති,කුලප්පු වෙන්න.අම්මලනම් ඔය නමටත් වදියි.මට එපා කරපු දෙයක් වෙනුවෙන් මගේ අම්මා මහන්සිවෙන තරම්.අනේ මන්ද අප්පා.එක වෙලාවකට හිතෙනවා මගේ අම්මා වුනත් මට ආදරේ නැතිව ඇති කියලා.නැත්නම් මම 3 වසරට ඇතුළත් වුන දවසේ ඉදන් මේ කෙහෙල් මලට සුදානම් වෙන්න කියලා පංතිගානේ ඇදන් යයියෑ.උදේ 5.30ට විතර නැගිටිනවා...ඉස්කෝලේ යනවා.ආයේ ගෙදර ඇවිත් ඒ ගමන්ම පංති යනවා.මගේ කකුල් දෙකත් ගෙවිලද කොහොද ඇවිදලම.එහෙම ඇවිදලා කොට වෙච්ච පාර දැන් මට පංතියේ යාලුවෝ කියන්නේ "කෙටී" කියලා‍.මේවා අම්මලට තේරෙන්නේ නෑ නේ.හවස් වෙලා ගෙදර ආපුවෙලාවේ ඉදන් අර තියෙන ගෙදර වැඩයි තව සතර පොත් ටිකයි කරන්න එපායෑ.නැත්නම් අම්මගේ බෙලි කටු මල්ලේ සද්දේ තමා අහන්න වෙන්නේ.....වැඩිහිටියෝ නම් පුදුම ජාතියක් තමා.එයාලා හැමදාම කරන්නේ අපිට උපදෙස් දෙන එක.එයාලා කවද්ද අපි කියන දෙයක් ඇහුවේ.ඇත්තටම නැද්ද දන්නෑ ලමයි, දෙමව්පියන්ව පාලනය කරන රටක්.ෂා එහෙම තිබුණනම් මමත් බලාගන්නවා වැඩේ....මොකටද මෙච්චර මහන්සිවෙන්නේ කියලා අහපුවහම අම්මා කියන්නේ හොද ඉස්කෝලෙකට දාගන්න කියලා.අනේ මන්ද ඇයි දැන් ඉන්න ඉස්කෝලේ.ඒක ඉස්කෝලයක් නෙවේ‍ද?අනිත් මගේ යාළුවෝ ඔක්කොම ඉන්නේ දැන් ඉස්කෝලේ....එතකොට එයාලා‍......?අනේ මන්ද මටත් දැන් මේ පිස්සු වැඩිහිටියොත් එක්ක ඉදලා පිස්සු වගේ....

මේ කෙහෙල්මල ලියලා ගෙදර ආපුවහම මේසේ උඩ තිබ්බ පොත් ටික දැක්කාම මට හිතුනේ....අනේ හප්පේ පොත් ටිකට ගිය සල්ලි....මේ පොඩි කොල කෑල්ලක තිබ්බ ප්‍රශ්න ටිකක් කරන්න මෙච්චර පොත් ගොඩක් කලාද? ඒත් ඉතිං මට නම් මතක නෑ, මේ පොත් වල තිබ්බ ඒවා අර කොල කෑල්ලේ තිබ්බා කියලා...අනේ මන්ද අපේ ගෙදර අයටත් පිස්සුනේ....අයිස් ක්‍රීම් කෑවනම් කීයක්ද, බොම්බයි මොටයි, කඩල වගේ කොච්චර දේවල් කන්න පුළුවන්ද මේ පොත් වලට ගිය සල්ලි වලින්.ඕක අපේ අම්මට නොතේරුණ හැටි බලන්නකෝ.එක අතකින් වැඩිහිටියෝ අපිට වඩා හරිම මෝඩයි කියලයි මට හිතෙන්නේ....



හයියෙන් කෑ ගහල සිංදුවක් කියන්න...සරුංගල් කාලෙට ලොකු සරුංගලයක් හදලා වෙලට ගිහින් උඩ යවන්න....දොලේ පැනලා නාන්න....මලක් දිහා බලලා ඒ මලේ ලස්සන දකින්න....රෑට හඳ දිහා තරු දිහා ඇති වෙනක්න් බලන්ඉන්න....යාළුවෝ එක්ක එකතුවෙලා හතිවැටෙනකන් සෙල්ලම් කරන්න...වෙල දිගේ තරඟෙට දුවන්න....හවසට යන කාටුන් බලන්න....චිත්‍ර අඳින්න...කොච්චරක් කියලා වැදගත් දෙවල් තියේද ඔය පාඩම් කරනවට වඩා කරන්න.අනේ මන්දා....ඕක අපේ අම්මලට නොතේරෙන හැටි....එයාල ලොකුයි කියලා දුවන්න පනින්න බෑ කියලා අපි මක්කොරන්නද....ඒකේ පලියත් අපෙන් තමයි ගන්න හදන්නේ....මගේ පොඩි කාලේ එහෙම්ම අපරාදේ....තාත්තාත් අම්මගේ පැත්තේ‍‍‍...මම කියන දේට මුලදී හා කියනවා...මෙන්න ඒකටම අම්ම ඉන්නතැන බෑ කියනවා...හරි පුදුමයි...එයාලමයි කියන්නේ අපිට බොරු කියන්න හොදනෑ කියලා.ඒත් එයාලමයි කරන්නේ....ලොකු අය ඔහොම්මයි....

අද කලින් නිදා ගන්න ඕනි....හෙට උදේම මගේ වැඩ පටන්ගන්න තියෙනවනේ....කීයක් කියලද...කෝකෙන්ද පටන් ගන්නේ....හිතාගන්න බෑ අප්පා....මෙනා වුනත් දැන්නම් අවුරුද්දක් විතර මුකුත් නොකර ඉන්න ඕනි පාඩම් වැඩ.දැන් කොරේ, තවත් මොනාද....ඒත් අද හවස අම්මා තාත්තට කියනවා ඇහුනා "දැන් එක යුද්ධයක් ඉවරයි දැන් ඉතිං...." මෙකක්ද මන්ද එකක් කිව්වා මතක නෑ හරියට.....ලොකු වචනයක්....අපෝ ඒ කියන්නේ ආයෙත් උදේ 5.30ට නැගිටින්න ඕනිද...උදේ ඉදන් හවස් වෙනකන් ඉස්කෝලෙයි පංති වලටයි බඩගාන්න ඕනිද....ඒ කියන්නේ ආයෙත් සෙල්ලම් කරන්න....දොළේ පැනලා නාන්න....සරුංගල් අරින්න....කාටුන් බලන්න....වගේ මගේ වැදගත් වැඩ කරන්න බැරි වෙනවද......

අනේ මගේ ළමා කාලය..........





තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ මෙන්න මේකයි විශේෂත්වේ ෴



ම්ම්ම්ම් මම කෂ්ටියගෙන් ඇහුවොත් මේ අපේ සිංහල බ්ලොග් අවකාශයේ තියෙන ජනප්‍රියම බ්ලොග් එක මොකක්ද කියලා, මොකක්ද දෙන උත්තරේ‍‍...ඒ පාර කෂ්ටිය කියයිද දන්නෑ මෙන්න හසියා ජනප්‍රියම බ්ලොග් තරුව තෝරන්න හදනවා කියලා.නෑ නෑ මෙතන එහෙම සිද්ධියක් නෙවේ තියෙන්නේ‍.මට හිතෙන විදිහට එකක් කියලා නෑ.ජනප්‍රිය සිංහල බ්ලොග් අඩවි කිහිපයක්ම තියෙනවා අපි අතරේ.මම කියන්න ඕනි නෑනේ ඉතිං කෂ්ටියට මතක් වෙනවා ඇතිනේ ලොකු ලිස්ට් එකක්.ම්ම්ම්ම් මම අද කියන්න හිතුවෙත් ඒ වගේ ගොඩාක් ජනප්‍රිය බ්ලොග් අඩවියක් ගැනයි.ඔන්න දැන් බ්ලොග් ලියන සහොදර සහොදරියෝ හසියා එක්ක තරහා වෙයිද දන්නෑ.., හසියට අරයගේ බ්ලොග් එක ගැන කියන්න පුළුහන් ඒත් අපේ ඒවා ගැන වචනයක් වත් කියන්න බෑ කියලා.හරි හරි ඉතිං....මම මේ බ්ලොග් එක ගැන කියන්න හිතුවේ විශේෂ හේතුවක් නිසයි.

මේ මම කියන්න හදන බ්ලොග් අඩවිය ලගදීම විශේෂ සන්ධිස්ථානයකට ළගා වෙනවා.ළගදීම කිව්වට අද හෙටම කිව්වොත් නිවැරදියි.මම හිතන්නේ මේ බ්ලොග් එක අපේ බ්ලොග් අවකාශයේ ඇති වැඩිම ලිපි සංඛ්‍යවක් ඇති බ්ලොග් අඩවිය කියලයි.එහෙම නැතිවුනත් දෙවෙනි තැන හරි ඉන්නවා කියලා නම් ෂුවර් ඇන්ඩ් ෂොට්.

සතුට, සාමය, සමගිය, සෙනෙහස, ආදරය, කරුණාව, දයාව, දුක, සොබාදහම ඇතුළු නොයෙකුත් මාතෘකා යටතේ මේ මම කියන බ්ලොග් අඩවියේ ලිපි අඩංගුවෙනවා.එක වෙලාවකට බඩරිදෙනකන් හිනාවෙන්නත් තව වෙලාවකට ඇස් රිදෙනකන් අඩන්නත් ඒ වගේම ලියන්නාගේ අත්දෑකීම් මෙන්ම තමන්ගේ පවුලේ, මිතුරන්ගේ ඕපා දුප පවා මේ ලිපි අතර අඩංගුවෙනවා.ඒ විතරක්ද හොද නරක, උපදේශයන් වගේ ජීවිතයට වැදගත් ලිපි වලිනුත් මේ බ්ලොග් අඩවිය සමන්විතයි කිව්වොත් මම නිවැරිදියි.

දැන් කෂ්ටියට අම්බානකට තද වෙලා ඇත්තේ.හා හා තව පොඩ්ඩක් ඉවසමුකෝ........

දැනුම විනෝදය ඉහළින්ම සපයන මේ බ්ලොග් අඩවිය පටන් අරන් තියෙන්නේ 2009 සැප්තැම්බර් 18 වෙනිදා.දැන් කෂටිය කියයි අපෝ මේ කියන්න හදන්නේ බ්ලොග් එකකට අවුරුද්දක් පිරෙන එකක් ගැන කියලා.නෑ නෑ එහෙම දෙයකටත් වඩා වැදගත් සිදුවීමක් තමයි මම කියන්න යන්නේ.

මේ බ්ලොග් අඩවියේ ලිපි කියෙව්වාම, එහි ලිපි ලියු තැනැත්තා‍ගේ හදවත ඒවගේම ඒ තැනැත්තා කොහොම කෙනෙක්ද කියලා ඕනි කෙනෙක්ට තේරෙනවා ඇති කියලයි මට නම් හිතෙන්නේ .කෙලින්ම කිව්වොත් ලියන්නාගේ හදවතේ කැඩපත කිව්වත් කමක් නෑ.ඒ මට දැනුණු විදිහ.අපේ කෂ්ටියටත් එසේම වෙන්න ඇති කියලා මට හිතෙනවා‍.ඒ හන්දනේ ජනප්‍රියයි කියලා කිව්වේ.

වැඩි විස්තර ඕනි නෑ‍‍.(වැඩි විස්තර ඕනි නෑ කියන්නේ හරියට දැන් කරපු විස්තරේ පොඩි එකක් කියලා හිතානද දන්නෑ කියලා කෂ්ටිය හසියට බනිනවා ඇති.) ම්ම්ම් මේ බ්ලොග් එක ලියන්නේ අපේ කාන්තා පාර්ශවයේ කෙනෙක්.හා හා දැන් කාන්තා පාර්ශවයට අදාල කෂ්ටිය උඩයනවා එහෙම නෙවේ ඕන්.

මේ බ්ලොග් එකට ගියහම මෙන්න මේවගේ දෙයක් දකින්න පුළුවන්......බලන්න කෂ්ටියට මතකද කියලා......

"~~~~සීතල දිය පිරි සුනිල විලයි..ඒ විල මැද ඔබ සුවඳ මලයි..ගිමන් නිවාලන සුළං රැළක්වී..ඔබේ සිනා මට පවන්සලයි~~~~"

(බ්ලොග් එකට එනකොටම මේක දැක්කාම හොදටම ඇති....හිතයි බඩයි දෙකම පිරෙනවා.දැන් අහන්න එපා බඩ කොහොමද පිරෙන්නේ කියල.මම දන්නෙත් නෑ.)

දැන් කෂ්ටියකට මීටර් ඇති මේ මම කියන බ්ලොග් එක මොකක්ද කියලා‍‍......හරි හරි ටියුබ් ලයිට් වුන කෂ්ටියයට පහල තියෙන සබැඳියෙන් ඒ බ්ලොග් අඩවියට ගිහින් බලන්න පුළුහන් මේ කාගේ බ්ලොග් එක ගැනද කියන්නේ කියලා.අහ්...මේ අපේ මීටර් වෙච්ච සෙට් එකත් ඉතිං තමන්ට මීටර් වුන බ්ලොග් එකමද මේ කියලා හරියටම දැනගන්න ගිහින් බලන්නකෝ.හැබැයි ඔන්න පැළවෙන්න එපා.තව විශේෂත්වේ කිව්වෙ නෑනේ.....





















අහ් ආවද සෙට් එක‍‍‍.......
දැන් දන්නවනේ කවුරු ගැනද මෙච්චරවෙලා කියෙව්වේ කියලා.......සෙදුරු සිතක හිමිකාරිය වු අපේ "වත්සලා" අක්කිගේ "෴ සොඳුරු සිත ෴" කියන බ්ලොග් අඩවිය ගැන තමයි මෙච්චර වෙලා හසියා කියෙව්වේ.කවදාවත් දැකලා නැති වුනත්,කතාකරලා නැතිවුනත් වත්සලා අක්කි ගැන ඕනිම කෙනෙක්ට කියන්න පුළුවන්.කොහොම කෙනෙක්ද? මොනවටද ආසා..පවුලේ විස්තර වගේම ඇගේ විස්තරත්‍‍.වත්සලා අක්කිව මම නම් අද වෙනකන් දැකලා නෑ....කතා කරලත් නෑ...අඩුම තරමේ මුළු නම, ඉන්නේ කොහෙද කියලවත් මම නම් දන්නෑ.හැබැයි ඇය ගැන තියෙන්නේ පුදුම ලෙන්ගතු හැඟීමක්‍‍.මගේම අක්කියෙක් වගේ.(මේ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් අපි පිං කොරල නෑ නොවැ.)මම නම් හිතනනේ මේ හැගීම අපේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න හැමෝටම දැනෙන දෙයක් වෙන්න ඕනි.ඒ ඇයගේ තියෙන මිත්‍රශීලී, සාමකාමී, ආදරබර, කරුණාබර, පිරිසිදු, විවෘත අදහස් නිසා වෙන්න ඕනි.ඔන්න මම කිව්වේ ඇත්ත....වත්සලා අක්කිව මුරුංඟා අත්තේ තිබ්බ එහෙම නෙවේ ඕන්.....

අහ්....වත්සලා අක්කිව මුරුංගා අත්තේ තියන්න ගිහින් එයාගේ බ්ලොග් අඩවියේ විශේෂත්ව කියන්න බැරිවුනානේ.වත්සලා අක්කිගේ ෴ සොඳුරු සිත ෴ බ්ලොග් අඩවියේ ලිපි 200 ට ආසන්න වීම තමයි විශේෂත්වේ‍‍.බොරුනම් ගිහින් බලන්නකෝ.බ්ලොග් ලිපි ලියන අපේ උදවියට ඉතිං අමුතුවෙන් කියන්න ඕනිනෑනේ ලිපියක් ලියන්න තියෙන අමාරුව.හැබැයි ඉතිං වත්සලා අක්කි ලියන ලිපි වනසන්න අපි ඉන්නවා.කමෙන්ට් කරන අය දන්නවනේ ඉතිං වැඩේ‍.සමහරවිට වත්සලා අක්කි අපිට බනිනවත් ඇති.අමාරුවෙන් ලියපු ලිපි ටික මුං සෙට් එක එකතුවෙලා වනසනවා කියලා.හැබැයි ඉතිං මුණට බැන්නත් ඒ වැඩේ නම් අපි නතර කරන්නේ නෑ.එහෙම වුනොත් කමෙන්ට් නැතුව අක්කිටම එපා වෙලා ලිපි ලියන එක නැවැත්තුවොත්, කාටද පාඩු...අපිටමනේ.කියවන්න තියෙන එක බ්ලොග් එකක් අඩුවෙනවා කියන්නේ සෑහෙන්න බොන්න ඕනී ප්‍රශ්නයක්නේ.‍

ඔන්න ඉතිං ෴ සොඳුරු සිත ෴ නම් වු සොදුරු බ්ලොග් අඩවිය ලියන අපේ සොදුරු සිතැත්ති වන වත්සලා අක්කිට සිංහල බ්ලොග් ලියන සුහෘද බ්ලොග්කරුවන් හා බ්ලොග්කාරියන් මෙන්ම අපේ හසී පවුලේ සාමාජිකයන් හා එකමුතුව, හසියා..., වත්සලා අක්කිගේ 200 වන ලිපියට ඉස්ඉස්සෙල්ලාම මුළු හදවතින්ම සුභ පතනවා.‍....!!!
ඒ වගේම තව චිරාත් කාලයක් අපේ අක්කියා නීරෝගී සුවයෙන් අපිත් එක්ක බ්ලොග් ලියන්නත්, සොඳුරු සිතේ ඇති සියළුම පැතුම් ඉතා ඉක්මණින්ම සිතනවාටත් වඩා හොදින් ඉටු වෙන්නත්, සොඳුරු සිතේ ඇති සියළුම තැවුල්, දුක් කරදර නැත්තටම නැතිවෙන්න කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!

මේ තියෙන්නේ අපේ වත්සලා අක්කිගේ පළමු ලිපිය.ඒ කියන්නේ මේ
෴ සොඳුරු සිත ෴ ඇරඹුම.......


ඔන්න දැන් කෂ්ටියට කලින්ම කිව්ව නිසා වත්සලා අක්කිගේ 200 වෙනි ලිපියට ඇති වෙනකම් සුභ පතන එකයි ඇත්තේ ඕන්........


වත්සලා අක්කිව මුරුංගා අත්තේ තැබූ
මම
෴ හසියා ෴

(අද නම් ඔන්න අන්තිමට දාන රෙකොඩ් එක හොරකම් කලා........තරහා අවසර හොදේ........)


ප.ලි. : හැබෑටම අපේ හසී කෙල්ල කිව්වත් වගේ, "හසී පවුල" කියලා අපට නම දැම්මෙත් අපේ මේ වත්සලා අක්කි නොවැ.අපිට ලේබල් එකක් ඇලෙව්වට ගොඩාක් ස්තූතියි හොදේ අක්කියෝ.....

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ තෑග්ග ෴



හෙට දිනය, මාගේ උපන්දිනය බැව් ඔහු හොදින්ම දන්නා දෙයකි.වෙනදා මෙන් සවස ඔහු වැඩ නිමවී එන පෙරමග බලාසිටියත් අද වෙනදාටත් වඩා නොඉවසිල්ලෙන් බලා සිටියේ හෙට මාගේ උපන්දිනයට ඔහු දෙනදේ ගැන පුංචි ඉඟියක් ලබා ගැනීමේ කුතුහලය නිසාවෙනි.ගියවර ඔහු මට ගෙනා උපන්දින තෑග්ග පසුදින තෙක්ම බැලීමටවත් ඒ ගැන ඇසීමත් තහනම් කර සිටියේය.ඒ ඔහු මා පුදුමයට පත් කිරීමේ අහිංසක චේතනාවෙනි.එවර ඔහුගෙන් මට ලැබුනේ අගනා රන් මාලයකි.මා රන් ආභරණවලට කැමැත්තක් ඇතත්, ඒවා ඉල්ලා නාහෙන් නොඅඩන බව දන්නා ඔහු එය තෑගි කලේ මා සතුටු කිරීමට බව මම දනිමි.

බීප්......බීප්.......බීප්....බීප්......

ඒ ඔහුගේ කාරයේ හෝන් හඩයි.ඒ හඬින් සිතුවිළි සයුරෙන් නික්මුණු මා හනික ගේට්ටුව වෙත දිව ගියේ ගේට්ටුව ඇරීමටය.වෙනදා මෙන් ඔහු කාර් එක ගේට්ටුවෙන් ඇතුළට ගත් විගස ගේට්ටුව වසා කාර් එක පිටුපස දිවගියේ, වැඩ නිමවී ගෙදර එන තම පියාගේ කාරය පසු පස දුවනා පොඩි එකියක් මෙනි.

ඔහු‍ හැමදාමත් කාරයෙන් බසින්නේ ඔහුගේ බ්‍රීරීෆ් කේස් එක මා අත තබමින් හා මගේ නලලත සිඹිමින්ය.අදත් ඒසේ සිදුකිරීමට අමතක නොකල ඔහු ඔහු‍ගේ සුපුරුදු ප්‍රශ්නාවලිය ඉදිරිපත් කිරීමටද පසුබට නොවීය.

"සුදු නෝන අද මොකද කලේ...?"

මුකුත් නෑ සුදු මහත්තයෝ.....අද සුදු මහත්තයට කොහොමද...?

"ම්ම්ම් හරිම මහන්සියි.මේ දවස් ටිකේ වැඩ හොදටම ගොඩගැහිලා සුදු නෝනා.හෙටත් යන්නම වෙනවා වැඩට."


ඒ වදන් පෙලින් මා සිත ඇතිවු දුක දරාගත නොහැකි තරම්ය.ඒ මාගේ උපන් දිනය වන හෙට දිනත් ඔහුට වැඩට යාමට සිදුවන නිසාය.අඩුම තරමේ මා වෙනුවෙන් උපන්දින තෑග්ගක් ගැනීමට පවා ඔහු අමතක කරඇත‍.ඔහුට මාගේ උපන්දිනය අමතක වුයේ කෙසේද?

"සුදු නෝනා මොකද මේ...?" ඔහු මාගේ නහය සෙමින් මිරිකමින් ඇසීය.

ඔහුගේ හඬින් පියවි සිහියට පැමිණි මා, ඔහුට මා සිතේ ඇතිවු ප්‍රශ්න හා දුක ඔහුට නොදැනෙන සේ....

"අහ්..මුකුත් නෑ සුදු මහත්තයා, ඇයි එහෙම ඇහුවේ ?" කියමින් මා මනසෙහි ජනිත වු ප්‍රශ්න පෙලද, දුකද ඔහුගෙන් සැගවීමී.

"හ්ම්....නැහැ ඔයා අද ටිකක් අමුතුයි වගේ" කියමින් පුරුදු පරිදි ඔහු මගේ අතින් අල්ලා‍ගෙන ගෙතුලට වැදුනේය.

"මහන්සියි සුදු නෝනා මම නාගෙන එන්නම්." ඒ ඔහුගේ සුපුරුදු ක්‍රියා පිළිවෙතයි.

ඔහුට උණු කිරි කෝප්පයක් සෑදීම සදහා මුළුතැන්ගෙට වැදුනු මා, වතුර පිරවු කේතලය ගෑස් ලිප මත තැබුවෙමි.නමුත් කිරි සැදීම කෙසේ වෙතත් නැවතත් මා සිතේ ඇතිවු ප්‍රශ්න එකින් එක නිරාකරණය කරගැනීමට උත්සුක වීමි.ඇයි එයාට මගේ උපන්දිනේ අමතක වුනේ? කොහොමද එහෙම වුනේ? ඉස්සරනම් එයාට මගේ උපන්දිනය ඔහුගේ උපන්දිනයටත් වඩා හොදින් මතකයි.ඒ වගේම ඒ දවසම ඔහුට කෙතරම් වැඩ රාජකාරී තිබුනත් ඔහු මා වෙනුවෙන් කැපකලේය.ඒත් මෙවර.....
හ්ම්ම්ම්ම්....මේ දවස් වල ඔ‍ෆීස් එකේ වැඩ වැඩි නිසා අමතක වෙන්න ඇති.රාජකාරිය දේව කාරියටත් වඩා වටිනවනේ. කමක් නෑ අමතක වුනාට.යැයි සිතමින් ඔහුගේ අමතක වීම සාධාරණීයකරනය කිරීමට උත්සහකලෙමි.
ඒත් ගිය මාසේ ඔහුගේ නංගීගේ 21 වන උපන්දිනය වෙනුවෙන් ඔහු ලෑස්තිවුයේ සතියක පමණ පෙර සිටය.එහෙව් එකේ ඔහුට කෙසේද මගේ උපන්දිනය අමතක වුනේ.ඔහු මට දක්වන ආදරය අඩුවෙලාද?නෑ වෙන්න බෑ.ඔහුගේ මේ අමතක වීම නැවතත් මසිතට මහත්සේ වද දෙන්නට විය.

රුරුරුරූරූරූරූරූරූ‍.......ගෑස් ලිප මත තැබූ කේතයේ වතුර හොදින් රත් වී නැගුනු හඬ නැවතත් මාගේ සිතුවිළි සයුරට බාධා කලේය.

වියවුල් මනසින් නැවතත් කිරි කෝප්පය සෑදීම ඇරඹි මාහට, ඔහු නාගෙන පැමිණෙන විට එය සාදානිමකරීමට හැකිවිණි.

"සුදු නෝනා අද කන්න මුකුත් නැද්ද...?" ඒ ඔහුගේ සුපුරුදු හඬයි.

"අහ්...මට අමතක වුනානේ සුදු මහත්තයෝ, මෙන්න මම අද ඔයා කැමතිම කෑමක් හැදුවා තේ බොන්න.‍ඉන්න දෙන්න සුදු මහත්තයෝ." සිතේ තිබූ වියවුල් ස්වභාවය නිසා ඔහු වෙනුවෙන්ම සෑදු ඔහුගේ ප්‍රියතම ආහාරයක් වන සමපෝෂ දීසිය දීමට පවා අමතක විය.

"ආ මෙන්න..." මම සමපෝෂ දීසිය ඔහු අත තැබිමි.

ඔහුගේ කිරි කෝප්පය පමණක් මේසය උඩ තිබෙනු දැක විමතියට පත් ඔහු....
"මේ මොකද මේ...සුදු නෝනා අද කිරි බොන්නේ නැත්තේ?"

"අද මගේ බඩ පොඩ්ඩක් රිදෙනවා සුදු මහත්තයෝ.දැන් බොන්න බෑ.මගේ සුදු මහත්තයා බොන්නකෝ මටත් එක්ක."

සිතේ තිබූ වියවුල් සිතුවිලි කන්ද හා හටගත් දුක නිසාම කිරි කෝප්පයක් බීම පවා මාහට මහත් අප්පිරියාවක් විය.නමුත් බඩ රිදෙනවා යැයි කියමින් ඔහුගෙන් ඒ බව සැඟවීමට ගොස් මා වැටුනේ කබලෙන් ලිපටය.මගේ බඩරිදිල්ල ගණන් නොගතයුතු දෙයක් බව ඔහුට ඒත්තුයනතුරුම ඔහුගේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන්නට මාහට සිදුවිය.

එදින රාත්‍රියේ නිනදට ගිය විටත් මා හට සැනසීමක් නොවීය.සිතේ ඇතිවු සිතුවිළි එකින් එක සලකා බලමින් නොයෙකුත් තර්ක විතර්ක ගොඩනගන්නට වීමි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

පසු දින........

"හා...හා.... සුදු නෝනා නැගිටින්න නැගිටින්න...හොදටම දවල් වෙලා.දැන් උදේ අට හමාරයි වෙලාව.මට ඔ‍ෆීස් යන්නත් හොදටම පරක්කුවෙලා." මා අවදි වුයේ ඔහුගේ හඬිනි.

වෙලාව ඇසුනු සැනින් මා, දඩි පඩි ගා නැගිට සිටියේ, සුදු මහත්තයට ඔෆීස් ගෙනියන්න ආහාර සෑදිය යුතු නිසාවෙනි. වෙනදා ඔහුව ඇහැරවන්නේ මවිසිනි.කෙදිනකවත් ඔහුගේ ඔෆීස් ගමන ප්‍රමාද නෙකල මා, අද......

මා ඉක්මනින් නැගිට මුළුතැන්ගෙය වෙත යාමට මැද සාලයට පැමිණියෙමි.එහිදී මා දුටු දසුනින් මාගේ හදවත නැවතී, ‍මා ගොළු වුවා සේ දැනුණි.දෑස් අදහාගත නොහැකි දසුනකි.

තත්පර කිහිපයක් ගතවිණි. මා පියවි සිහියට පැමිණියේ, මා පිටුපසින් ඇසුණු ඔහුගේ ආදරණීය ලෙන්ගතු හඬිනි.

"මගේ රත්තරන් පුංචි සුදු නෝනට සුභම සුභ උපන්දිනයක්....!!!"

"සුදු නෝනා...මම අද ඔ‍ෆීස් යන්නේ නෑ.මෙන්න මං ගානේ අද මගේ සුදු නෝනට රසම රස උණු කිරි කෝප්පයක්...."

ඔහු විසින්ම කරතිබු උපන්දින සැරසිලි දෙස ආසාවෙන් බලමින් මා ඔහුගේ උණුසුම් පපුවට හොද හැටි තුරුළු වුයේ, මාහට මා කෙරේම ඇතිවු ලැජ්ජාව සතුටු කදුළු අතරේ සගවාගනිමිනි.



~නිමි~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :


පොඩි එකෙක්ගෙන් ඇහුවත් උත්තර දෙන ප්‍රශ්නයක්නේ අද හසියා අහල තියෙන්නේ කියල කෂ්ටිය කියයි දැන්‍‍.ඔව් ඔව් හසියා දන්නවා පැන්සල ගන්නේ ලියන, අඳින වැඩ වලට කියලා.අහ්...ඇයි තව පොඩි කලේ මේසේ උඩ පැන්සල් රෝල්කරන්න, බඩගිනිවුනාම උඩකෙලවර හපන්න, ලග ඉන්න එකාට පොඩ්ඩක් ඇනල චූන් එකක්ගන්න, කූරුතුනේ පලග් සොකට් එකට ගහන්න.හෆ්ෆේ තව පොඩ්ඩෙන් ඕවා අමතක වෙනව නොවැ. බලන්යනකොට වැඩ ගොඩක් කරගන්න පුළුවන්නේ.ම්ම්ම්...ඒත් දැකල තියේද පැන්සලෙන් විසිතුරු භාණ්ඩ හදල තියෙනවා. හා හා වැඩි කතා මොකටද ඔය පහල තියෙන පිංතූර ටික බලන්නකෝ.





කොහොමද....? කොහොම වුනත් නිර්මාණශීලී වැඩක්.හා හා දැන් කෂ්ටිය පැන්සල් වලින් විසිතුරු නිර්මාණ කරන්න ගිහින් ලංකාවේ පැන්සල් හිඟයක් එයිද දන්නෑ.ඔන්න හසිය නම් අල්ලගන්න එපා හොදේ.අනිත් එක මේක දැකල ඔය ගෙදර ඉන්න පුංචි පැංචිලා එකතු වෙලා ගෙදර පැන්සල් ඔක්කෝම එකතු කරන් විසිතුරු නිර්මාණ කරල අක්කල අයියලා අම්මලා තාත්තලා ආදී වු කෂ්ටිය පරම්පරා පිටින් එයිද දන්නෑ හසියට විරුද්ධව විරෝධයපාගෙන.අනේ එහෙම කරන්න එපා.හසියා පව්නේ නේද?

හසියට මේ පිංතූර ටික ලැබුනේ යාළුවෙක් එවපු ඉ-මේල් එකකින්.කෂ්ටියට ඔන්න පිංතූර ටික බාගන්න එහෙම ඕනි නම් මෙතන කොටන්නකෝ‍.
එහෙනම් ඔන්න හසියා වාෂ්ප වුනා....

ඒස්වහ්ඃ පුහ්ඃ


තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

෴ සෙනෙහසේ අයැදුම ෴



ඔය නිල්වන් නෙතු සඟලේ
පින්බර ඔය හිත් පොඩියේ
ආලවන්ත හද මැඳුරේ
ආසයි රැදෙන්නට මොහොතක් සැනසිල්ලේ....

සියොත් කැල පෙම් කෙලින අහස් කුසේ
නිල්වන් වු වලා පෙල අතරේ
හිරු අවරේ සැඟවෙන මේ සවස් කලේ
ආසයි සැතපෙන්නට ඔය උරමැදුරේ......

සඳ එළියෙන් බබළන නඳී තෙරේ
තරු එළියෙන් මෝරන මේ අහස් කූසේ
ආසයි විඳින්නට පෙම් සුව මද පවනේ
දෙනවද රත්තරං අවසර මේ මොහොතේ........


ම්....hah කෂ්ටිය බලනවා ඇති හසියට එකපාරට මෙකද මේ කවි සිතුවිළි පහල වෙලා කියලා....හික්ස්. මේ කවිය මම ලියපු එකක් නම් නෙවේ.මේක ලිව්වේ හසියගේ පෙම්වතිය. ම්ම්....පෙම්වතිය කීවට දැන් ඇය ම‍ගෙන් ගොඩක් ඈතට ගිහින්. ඇය ගැන ඉදිරියේදී කියන්නම්කො‍්.එදා වත් අක්කිගේ ෴ ආදර හසුන ෴ ලිපිය කියවද්දි... මට මගේ පෙම්වතිය දුන් ලියුම් හා ලිපි කිහිපය ආයෙ කියවන්න හිතුනා.ඒ අතරේ තියෙන මම ආසම පද පෙල තමයි මේ. ම්ම්ම්....මේ පද පෙල ඇය මට දුනේනේ අප පෙම්වතුන්වුනාට පසුව සිදුවු පළමු හමුවීමේදීයි. ඒ නිසාමද මන්ද මේ පද පෙළට මම දක්වන්නේ පුදුම ආදරයක් වගේම ආසාවක්. ඒ හන්දමයි මේ පද පෙල දැම්මේ.....
හ්ම්ම්ම්....කෂ්ටිය කියවලා දැනුනුදේ කියල යන්නකෝ එහෙනම්.....hah ඇය ගැන පස්සේ දවසක කියන්නම්කෝ.......එහෙනම් හසියා වාෂ්ප වුණා.
ඒස්වහ්ඃ පුහ්ඃ

තව කෂ්ටියට එන්න පාර කියන්න.... :

Related Posts with Thumbnails