ඔන්න අද අම්මා ඇවිත් පටන් ගත්තනේ මාව පුරුදු විදිහටම උදේම ඇහැරවන්න.වෙලාව උදේ 5.00.අද දවසින් පස්සේ ටිකක් සැනසීමේ ඉන්න පුළුවන් වෙයි.අද 2010 අගෝස්තු 22 ඉරිදනේ.අම්මලා කියන විදිහට අද දවසලු මගේ අනාගතය තීරණය කරන්නේ.මට ඕක තාම තේරෙන්නේ නෑනේ.දවසක් කොහොමද මගේ ජීවිතේට බලපාන්නේ.හනේ මන්ද.ඔන්න ඉතිං උදේ හීතලේ ගැහි ගැහි මුණ හොදගෙන ලෑස්තුවුනා කියමුකෝ.වෙන මොකේටවත් නෙවේ ශිෂ්‍යත්වේ ලියන්න.ඔන්න ඉතිං මම ඉස්කෝලෙට ගියේ අම්මටයි තාත්තටයි වැඳලා.දෙන්නම ආවනේ ඉතං මාව මේ කෙහෙල්මලට ඉස්කෝලේ එක්කන් යන්න.ඉස්කෝලේ ලගට එනකොට ඇහෙනවා අම්මලගේ කයිවාරුව.මගේ පුතා මෙහෙමයි.මගේ දුව මෙහෙමයි.ඇයි තවත් සමහරු අරයගේ පුතා , දුව මෙහෙමයි කියලත් කියනවා.අනේ මන්ද අප්පා.අපේ අම්ම ළගටත් ඇවිත් ඇන්ටි කෙනෙක් ඇහුවා "ආ..කෝමද දුව ලෑස්තිද විභාගෙට කියලා".මෙන්න බොලේ අම්මා මම ඉන්න තැනම ඒ ඇන්ටිගේ මුණ බලාන කිව්වා..."මොන අපේ එක්කෙනා සෙල්ලමම විතරයි.විභාගයට කියල පොඩ්ඩක් වත් විශේෂ ලෑස්තියක් වුනේ නෑ."උදේම අතෑරියා පට්ටාපල්ල බින්නයක්.ඉතිං ඉස්කෝලේ කියල දෙන්නේ බොරු කියන්න එපා පව් සිද්ධ වෙනවා කියලානේ...ඉතිං මම කිව්වා..."ඇයි අම්මේ බොරු කියන්නේ මම හැමදාම උදේ 5.30ට නැගීටලා පාඩම් කලේ.ක්ලාස් ගියේ.ඔච්චර කරලත් මදිනම් තව කොහොම කරන්නද අප්පා..." ඒ වෙලාවේ අම්මගෙයි ඒ ඇන්ටිගෙයි මුණු ලස්සනට ඇඹුල් වෙලා දෙකක් වුණා කියල නම් මම දැක්කා.
ඔන්න ඉතිං ගොහින් විභාගේ ලියන්න ගියා කියමුකෝ....අහ් තව කොහෙද..යන්න ඉස්සෙල්ල අම්ම කියපු දේ...."මගේ දු හොදට ගිහින් පැහැදිලිව අකුරු ලස්සනට දන්නදේ හරියට සැලකිල්ලෙන් ලියන්න.ප්‍රශ්නයක් බැරිනම් එතන හිරවෙලා ඉන්න එපා වෙන ප්‍රශ්නයකට යන්න....බ්ලා...බ්ලා..." ඔක්කොම ටික කිව්වද මන්ද......ඔන්න ඉතිං ගිහින් අර ඇන්ටි කෙනෙක් දුන්න සුදු පාට ලස්සන කොලේ තිබ්බ ඒවට ලියලා ආවා කියමුකෝ උත්තරද මොනාද ඒවා....ලිව්වා ලිව්වා ම්ම්ම් හරිද මන්ද...මගේ අතත් රිදෙනවා.ඔන්න ඉතිං එළියට ආවා පංතියෙන්. හප්පා...තව පැය කීයක් හරි පංතිය ඇතුලෙම ඉන්න තිබුණනම් කියලා හිතුනේ මේ වෙලාවට තමයි.ආපු ගමන් ම ඇහෙන්න ගත්තේ "කීයකට ලිව්වද? පැහැදිලිව ලිව්වද? ලේසිද? අමාරුද? ලකුණු කීයක් ඇතිද?" ඇයි අනේ මේ පැය ගාණක් අර පංතිය ඇතුලේ ඉදල ආපුවහම අඩු තරමේ සුදු දුට බඩගිනිද කියලා අහන්නකෝ...කොහොද...මට තිබ්බ චූ බරත් තදකරගෙන දීපල්ලකෝ උත්තර.
මොනාවුනත් දැන්නම් ටිකක් හිතට නිදහසක් දැනෙනවා වගේ....අර මෙකක්ද ගලක් තියෙන්නේ බුද්ධාගම පාඩමේ...මට මතක නෑ...අන්න ඒක අහක් කලා වගේ..අම්මට කියල ඔන්න එන ගමන් අයිස් ක්‍රීම් එකකුත් ගත්තා කකා එන්න.ගෙදර ගිහින් කොච්චර වැඩ තියෙනවද කරන්න.කාටුන් බලන්න...සරුංගල් අරින්න...එහා ගෙදර චතුනි අක්කයි ඒ මල්ලිලා ටිකයි එක්ක සෙල්ලම් ගෙයක් දාන්න...දෙවැටේ ඇලේ නාන්න....දවල් වෙනකන් නිදාගන්න....අර අළුතින් ආපු භූත චිත්තරපටිය බලන්න යන්න....අනේ මන්ද වෙලාව මදිවෙයිද දන්නෑ...
මට නම් මේ කෙහෙල්මල් විභාගේ විකාරයක් වගේ.කිසිකමකට නෑ.අම්මා එක්ක පුදුම තරහක් තියෙන්නේ.ඒත් අම්මලට ශිෂ්‍යත්වේ කියලා නම ඇහුනත් ඇති,කුලප්පු වෙන්න.අම්මලනම් ඔය නමටත් වදියි.මට එපා කරපු දෙයක් වෙනුවෙන් මගේ අම්මා මහන්සිවෙන තරම්.අනේ මන්ද අප්පා.එක වෙලාවකට හිතෙනවා මගේ අම්මා වුනත් මට ආදරේ නැතිව ඇති කියලා.නැත්නම් මම 3 වසරට ඇතුළත් වුන දවසේ ඉදන් මේ කෙහෙල් මලට සුදානම් වෙන්න කියලා පංතිගානේ ඇදන් යයියෑ.උදේ 5.30ට විතර නැගිටිනවා...ඉස්කෝලේ යනවා.ආයේ ගෙදර ඇවිත් ඒ ගමන්ම පංති යනවා.මගේ කකුල් දෙකත් ගෙවිලද කොහොද ඇවිදලම.එහෙම ඇවිදලා කොට වෙච්ච පාර දැන් මට පංතියේ යාලුවෝ කියන්නේ "කෙටී" කියලා.මේවා අම්මලට තේරෙන්නේ නෑ නේ.හවස් වෙලා ගෙදර ආපුවෙලාවේ ඉදන් අර තියෙන ගෙදර වැඩයි තව සතර පොත් ටිකයි කරන්න එපායෑ.නැත්නම් අම්මගේ බෙලි කටු මල්ලේ සද්දේ තමා අහන්න වෙන්නේ.....වැඩිහිටියෝ නම් පුදුම ජාතියක් තමා.එයාලා හැමදාම කරන්නේ අපිට උපදෙස් දෙන එක.එයාලා කවද්ද අපි කියන දෙයක් ඇහුවේ.ඇත්තටම නැද්ද දන්නෑ ලමයි, දෙමව්පියන්ව පාලනය කරන රටක්.ෂා එහෙම තිබුණනම් මමත් බලාගන්නවා වැඩේ....මොකටද මෙච්චර මහන්සිවෙන්නේ කියලා අහපුවහම අම්මා කියන්නේ හොද ඉස්කෝලෙකට දාගන්න කියලා.අනේ මන්ද ඇයි දැන් ඉන්න ඉස්කෝලේ.ඒක ඉස්කෝලයක් නෙවේද?අනිත් මගේ යාළුවෝ ඔක්කොම ඉන්නේ දැන් ඉස්කෝලේ....එතකොට එයාලා......?අනේ මන්ද මටත් දැන් මේ පිස්සු වැඩිහිටියොත් එක්ක ඉදලා පිස්සු වගේ....
මේ කෙහෙල්මල ලියලා ගෙදර ආපුවහම මේසේ උඩ තිබ්බ පොත් ටික දැක්කාම මට හිතුනේ....අනේ හප්පේ පොත් ටිකට ගිය සල්ලි....මේ පොඩි කොල කෑල්ලක තිබ්බ ප්‍රශ්න ටිකක් කරන්න මෙච්චර පොත් ගොඩක් කලාද? ඒත් ඉතිං මට නම් මතක නෑ, මේ පොත් වල තිබ්බ ඒවා අර කොල කෑල්ලේ තිබ්බා කියලා...අනේ මන්ද අපේ ගෙදර අයටත් පිස්සුනේ....අයිස් ක්‍රීම් කෑවනම් කීයක්ද, බොම්බයි මොටයි, කඩල වගේ කොච්චර දේවල් කන්න පුළුවන්ද මේ පොත් වලට ගිය සල්ලි වලින්.ඕක අපේ අම්මට නොතේරුණ හැටි බලන්නකෝ.එක අතකින් වැඩිහිටියෝ අපිට වඩා හරිම මෝඩයි කියලයි මට හිතෙන්නේ....
හයියෙන් කෑ ගහල සිංදුවක් කියන්න...සරුංගල් කාලෙට ලොකු සරුංගලයක් හදලා වෙලට ගිහින් උඩ යවන්න....දොලේ පැනලා නාන්න....මලක් දිහා බලලා ඒ මලේ ලස්සන දකින්න....රෑට හඳ දිහා තරු දිහා ඇති වෙනක්න් බලන්ඉන්න....යාළුවෝ එක්ක එකතුවෙලා හතිවැටෙනකන් සෙල්ලම් කරන්න...වෙල දිගේ තරඟෙට දුවන්න....හවසට යන කාටුන් බලන්න....චිත්‍ර අඳින්න...කොච්චරක් කියලා වැදගත් දෙවල් තියේද ඔය පාඩම් කරනවට වඩා කරන්න.අනේ මන්දා....ඕක අපේ අම්මලට නොතේරෙන හැටි....එයාල ලොකුයි කියලා දුවන්න පනින්න බෑ කියලා අපි මක්කොරන්නද....ඒකේ පලියත් අපෙන් තමයි ගන්න හදන්නේ....මගේ පොඩි කාලේ එහෙම්ම අපරාදේ....තාත්තාත් අම්මගේ පැත්තේ...මම කියන දේට මුලදී හා කියනවා...මෙන්න ඒකටම අම්ම ඉන්නතැන බෑ කියනවා...හරි පුදුමයි...එයාලමයි කියන්නේ අපිට බොරු කියන්න හොදනෑ කියලා.ඒත් එයාලමයි කරන්නේ....ලොකු අය ඔහොම්මයි....
අද කලින් නිදා ගන්න ඕනි....හෙට උදේම මගේ වැඩ පටන්ගන්න තියෙනවනේ....කීයක් කියලද...කෝකෙන්ද පටන් ගන්නේ....හිතාගන්න බෑ අප්පා....මෙනා වුනත් දැන්නම් අවුරුද්දක් විතර මුකුත් නොකර ඉන්න ඕනි පාඩම් වැඩ.දැන් කොරේ, තවත් මොනාද....ඒත් අද හවස අම්මා තාත්තට කියනවා ඇහුනා "දැන් එක යුද්ධයක් ඉවරයි දැන් ඉතිං...." මෙකක්ද මන්ද එකක් කිව්වා මතක නෑ හරියට.....ලොකු වචනයක්....අපෝ ඒ කියන්නේ ආයෙත් උදේ 5.30ට නැගිටින්න ඕනිද...උදේ ඉදන් හවස් වෙනකන් ඉස්කෝලෙයි පංති වලටයි බඩගාන්න ඕනිද....ඒ කියන්නේ ආයෙත් සෙල්ලම් කරන්න....දොළේ පැනලා නාන්න....සරුංගල් අරින්න....කාටුන් බලන්න....වගේ මගේ වැදගත් වැඩ කරන්න බැරි වෙනවද......
අනේ මගේ ළමා කාලය..........
තව කෂ්ටියට එන්න පාර කියන්න.... : |
16 comments:
මොනව කරන්නද ඉවර වෙනකම් තරඟේ දුවනව.......... :m නිල වශයෙන් පටන් ගන්නේ ශිෂ්‍යත්වෙන් ඒත් ඉවරයක් තියනව කියල නම් හිතෙන්නැහැ........... :f :f :f :f :f :f
August 23, 2010 at 11:40 PMළමා කාලයක් මටත් යන්තම් තිබුන මතකයි.......... :f :f :f :f
@හා පැටික්කි (MS)
August 23, 2010 at 11:52 PMහ්ම්....ඒක ඇත්ත....දුවන්නන් වාලේ ඔහේ දුවනවා....
අපි නම් ටිකක් ළමා කාලය භුක්ති වින්ද....ඒත් ඉස්සර අය තරම්නම් නෑ කොහොමටවත්....දැන් උන් ළමා කාලේ දන්නේ නෑ නේ...
ස්තූතියි හා පැටික්කියේ.......
ජීවිතය තේරුම් ගන්න අය ඉන්නේ බොහොම අඩුවෙන් මචන්
August 24, 2010 at 12:00 AMසිරාවට ලියලා තියෙනවා මචෝ! ඔය ශිෂ්‍යත්වෙ නිසා දැන්කාලෙ පොඩි එවුන් අනාථයි.හැබැයි හැම දෙමව්පියොම එහෙම නෑ.කලාතුරකින් ඉන්නවා ළමයින්ට ළමා කාලය ලබල දෙන්න උත්සාහ කරන අයත්
August 24, 2010 at 12:26 AMවැරැද්ද දෙමාපියන් අතද?...ඉතා සීමිත අවස්ථාවන් සහිත අපෙ මහා ලොකු පරිපූර්ණයයි කියන නිදහස අධ්‍යාපනයේද?...:(
August 24, 2010 at 5:54 AMශිෂ්‍යත්වේ පාස් වෙන එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නෙ... වෙන මොකටවත් නෙමෙ... අනිත් එකාව පාගාගෙන තමන්ගෙ පොඩ්ඩව උඩට ගන්න හදන්නෙ... පොඩි උන්ට ලමා කාලයක් දෙන්න ඔනෙ
August 24, 2010 at 7:36 AMමට නම් තිබ්බා හරි අපූරු ළමා කාලයක්................
අනේ පවු අසරණ ළමයි :f
August 24, 2010 at 9:25 AM@බිඟුවා...!
August 24, 2010 at 10:21 AMහ්ම්....ඒකනම් ඇත්ත බිඟු අයියේ....ජීවිතය ඇත්තටම විදින්න තියේනම් අපි හැමෝම වසනාවන්තයි.ඒත් අපි විහින්ම අපේ ජීවිත විදවනවා.... :f ස්තූතියි බිඟු අයියේ....... :a
@blog gadol
අහ්...අපේ පුස් අයියලා.....බොහෝමත්ම ස්තූතියි. :a ඒක ඇත්ත.මේ අපේ පැත්තේ පොඩි උන්ටික දැක්කාම තමයි මට මේක ලියන්න හිතුනේ.ඇත්තම කියනවනම් ඊයේ දැක්ක බ්ලොග් පෝස්ට් එකකුත් මේක ලියන්න හේතුවුනා.:b හ්ම්.....මාත් දන්න කීප දෙනෙක් ඉන්නවා...හැබැයි එහෙම අය ගොඩක් අඩුයි.වැදගත්ම දේ කියන්නේ අර ගොඩක් මහන්සිවුන ලමයට වඩා අර නිදහසේ සිටි ලමයා ලකුණු අරන් තියෙනවා...ඕකයි ඇත්ත.ඒත් ඉතිං අම්මලට ඕක තේරෙන්නේ නෑ නේ.......ස්තූතියි පූස් අයියලා.....:a
@Shadow/හේමලයා
හෆ්ෆේ ඔය එකකවත් නෙවේ....ලංකාවේ අධ්‍යපනය තමන්ගේ අනසකට පත්කරගෙන ඉන්න අනුවණ බලධාරීන් අතේ.ඔවුන් අතේ තියෙනකන් අපේ පුංචි පැටව් වගේම ලොකු එව්නුත් දුක් විදිනවා....... :b ස්තුතියි ෂැඩෝ...... :a
@අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
සහතික ඇත්ත.පොඩි එකාගේ ඔළුවට පොඩි කාලෙම දාන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය.ඉතිං පස්සේ කෑ ගහනවා මගේ එකා මුරණ්ඩුයි, නපුරුයි වගේ දේවල්.....අහන්නත් සන්තෝසයි...අපි ඒ විස්තරත් ලියමුකෝ...රස රස සිදුවීම් ඇති නොවැ....:c :d ස්තූතියි සහෝ...... :a
@හසී
හ්ම්.....කිසිම දෙයක් නොතේරෙන පොඩි එවුන්.....දෙමව්පියන් නිසාම දුක්විදිනවා..... :f ස්තුතියි සහොදරී.... :a
උපරිමයි සහෝ!! සිරා කතාවක් සිරා විදියටම ලියලා තියෙනවා!!
August 24, 2010 at 2:54 PMහැබැයි එක දෙයක් කියන්න ඕනි , සල්ලි දීලා දේශපාලකයෝ පස්සේ නොගිහින් ලමයෙක්ව හොඳ ඉස්කෝලෙකට දාගන්න දුප්පත් අම්මලා තාත්තලාට තියෙන එකම විසඳුම ඔය කිව්ව අභාගේ තමයි ඉතිං!
අනික මම අද මෙතන ඉන්නේ , ඔයා අභාගේ උඩින්ම ගොඩා දාගත්තු නිසා , ඒ ගැන මම සතුටු වෙනවා මිසක් දුක් වෙන්නේ නෑ.
@ජංජාල චාමර
August 24, 2010 at 2:59 PMඅහ්..ඒක ඇත්ත...ඒත් මචෝ උඹලගේ අපේ කාලේ අපි ඕකට වැඩ කලේ කොහොමද...දැන් පොඩි උන් වැඩ කරන්නේ කොහොමද?පොඩි උන්ට ඕවා දරාගන්න අමාරුයි.ඒත් ඉතිං මොනා කරන්නද එහෙම නැතුවත් බෑ උඹ කිව්වා වගේ....
අපිත් ඉතං කට පියාන ඉමු....වෙනමොනා කැන්නද?
ස්තූතියි සහෝ......
෴ ශිෂ්‍යත්වය ලීවයි කොලුවො. එහෙනම් ලේස්ති වෙන්න. 6 පන්ති වලට උගන්නන හොද ගුරුවරු ඉන්නව. දැන්ම ගියොත් පන්තියට ඇතුල් කර ගන්න පුලුවන්... හ්ම් හ්ම් සෙල්ලම් කරන්න පස්සෙ බැරිය ( නාකි වුනාම)... දැන් ලෑස්ති වෙන්න යන්න...
August 24, 2010 at 10:08 PM@wath
August 24, 2010 at 10:49 PMඅනේ තව පොඩ්ඩක් ඉන්නකෝ..මේ මොකක්ද කෙහෙල්මල ලියලා ගෙදර ආවා විතරයි....ඇත්තටම ඔයාලා ඒ දවස්වල සෙල්ලම් කලේ නෑ නේද....ඒකතමා...සෙල්ලම් කොරපු කෙනෙක්ගෙන් එපායෑ සෙල්ලමේ රඟ දැනගන්න...
ඔන්න මට බල කරන්න එන්න එපා...මම 1929 කෝල් කරනවා....
අපි විඳපු ළමා කාලය කොහෙද බන් දැන් උන්ට. උන් අවුරුදු 2 - 3 වෙද්දි ම ඩේ කෙයාර්.. මොන්ටිසෝරි.. ඊට පස්සෙ ඔන්න කරුමේ... 5 වසරෙ රෙද්දට දුවනවා දුවනවා... ඊට පස්සෙ තව එකක්... තව තව... රේස් දුවනවා බන්. පව්. කාගෙ වැර්ද්දක්ද මන්ද.
August 25, 2010 at 9:10 AM@පිස්සා පලාමල්ල
August 25, 2010 at 9:19 AMඅපෝ ඒක නම් ඇත්ත..අම්මගේ තාත්තාගේ ආදරය උණුසුම ලැබෙන්න ඕනි කාලේ වෙන කෙනෙක් ළග.අම්මගේ තාත්තගේ උණුසුමින් ආදරයෙන් තමයි ළමයෙක්ගේ හැකියාවන්,ගති ගුණ වගේම බුද්ධිය වැඩෙන්නේ...
තාම ඩේ කෙයා සෙට් එක සමාජගත වුනේ නෑ...ඒ වුනහම විසදන්න බැරි ප්‍රශ්න රාශියකට මුහුණදෙන්න වෙයි කියලයි මටනම් හිතෙන්නේ...
මොනාකරන්නද අපිත් ඉතිං කට ඇරන් බලන් ඉමු ඒ දිහා.....
බොහොමත්ම ස්තූතියි ප්‍රතිචාරයට...
රට යන අත. ඉස්සරහට බඩේ ඉන්න එකාලටත් මෙලොව එළිය දකින්න විභාග ලියන්න වෙයි.මොන විභාගේ පාස් කලත් වැඩක් නෑ ළමයෙක්ට පොළවෙ පය ගහලා ඉන්න හරියට ඉගැන්නුවේ නැත්තම්.
August 25, 2010 at 10:22 AM@Naදී
August 25, 2010 at 10:35 AMවැඩක් නෑ අක්කියෝ කතා කරලා.ළමයෙක්ට ආදරය උණුසුම සෙනෙහස අහිමි වුනාම වෙන්නේ ඒ ළමයි ලොකු වෙනකොට යක්කු වෙනවා.ඇයි ඉතිං ඉපදුනා දා පටන්ම කරන්නේ විභාග ලියන එකනේ.අම්මලටත් ඕනි ඒදේමයි.ඉතං ඔහොම ගියාවේ කියලා බලන් ඉමු.
ස්තූතියි අක්කියෝ ප්‍රතිචාරයට....
Post a Comment
ඔබ සැමගේ අදහස්, යෝජනා, චෝදනා මට තරම් වටින කෙනෙක් ඉන්නවද...ඉතිං ඔයාලගේ අදහස් ප්‍රකාශකරන්න පසුබට වෙන්න එපා....
කුණුහරුප නැතිව ඕනි දෙයක් ලියලා යන්න...!!!
ඕනි දෙයක් මම සතුටින් බාරගන්නවා...
ඇනොනිමස් විදිහට කමෙන්ට් කරනවනම් නමවත් දාන්න කියල පොඩි ඉල්ලීමක් කරනවා....